ශ්‍රී ලංකාවේ ආර්ථිකය පමණක් නොව සමාජ-දේශපාලන ක්‍රමයද තිබෙන්නේ ජරාජීර්ණ තත්ත්වයකට පත්වීම මත මුළුමනින් කඩා බිඳ වැටෙමින් තිබෙන තත්ත්වයකය. නූතන යුගයට මාරු වීමෙන් පසුව රාජ්‍යයක් මේ ආකාරයේ කඩා බිඳ වැටෙන තත්ත්වයකට පත් වන්නේ ඉතාමත් කලාතුරකිනි. එවැනි තත්ත්වයක් කලාතුරකින් හෝ ඇති විය හැක්කේ බරපතළ ගණයෙහි ලා සැලකිය හැකි වැරදි නිවැරදි කිරීමකින් තොරව දිගින් දිගට සිදුවී තිබෙනවාට අතිරේකව එම බරපතළ වැරදි දීර්ඝ කාලීන පදනමකින් (අවුරුදු 5 ක් 10 ක් නොව අවුරුදු 20 ක් 30 ක් 40 ක් පමණ) පවත්වා ගෙන ගිය මෝඩ රාජ්‍යයක පමණය.
නූතනයේ ඕනෑම රාජයක ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යනාදි වශයෙන් වන බල බෙදීමක් පවතී. ප්‍රජා පීඩනයක් ඇතිවීම වැළකීම සදහා එවැනි බල බෙදීමක අවශ්‍යතාව පෙන්වා දුන්නේ මොන්ටෙස්කියු ය. ඔහුගේ මතය වුයේ එම බලමණ්ඩල තුන එක බලමණ්ඩලයකට අනෙක් බලමණඩල ග්‍රහනයට ගත නොහැකි අකාරයට ගොඩ නැගිය යුතු බවය.
සොල්බරි ව්‍යවස්ථාවෙන් අපට ලැබී තිබුණේ එවැනි බල බෙදීමක් සහිත නීතියේ පාලනය මත පදනම් වූ ආණ්ඩු ක්‍රමයකි. කොල්වින් ආර් ද සිල්වා ඔහුගේ 1972 ව්‍යවස්ථාවෙන් ආණ්ඩු ක්‍රමයේ තිබූ එම ව්‍යුහය විකෘති කළේය. අධිකරණයට තිබු බලය හීන කොට පාර්ලිමේන්තුවට උත්තරීතර තත්ත්වයක් ලබා දුන්නේය.
ඉන් පසු 1978 දී ජේ.ආර්. ජයවර්ධන කරලියට ගෙන ආ ව්‍යවස්ථාව මගින් දේශපාලන ක්‍රමය විකෘති කිරීමේ ක්‍රියාවලිය උපරිම තත්ත්වයකට පත් කළේය. විධායකයේ ප්‍රධානියා වූ ජනාධිපතිට රාජ්‍යයේ සකල විද බලය හිමි කර දීමෙන් නොනැවතී එම ධූරය නීතියට යටත් නැති නීතියට ඉහළින් තිබෙන තත්ත්වයක තැබීම මගින් බලය බෙදීම සදහා යොදා ගැනුණු පිළි ගත් ප්‍රතිපත්ති යටපත් කොට පාර්ලිමේන්තුව සහ අධිකරණය ජනාධිපති ධූරයට වඩා පහළ දෙවැනි පෙළ තත්ත්වයක් හිමි කර ගත් ආයතන ක්‍රම දෙකක් බවට පත් කළේය. එම තත්ත්වය ජනාධිපතිට නීතියට පටහැනිව ක්‍රියා කිරීමට අවශ්‍ය බලය ලබා දෙනවාට අතිරේකව රාජ්‍යයේ සියලු පුද්ගලයින් සහ ආයතන නීතියට අනුකූලව ක්‍රියා කිරීමට තිබුණ නීතිමය බැදීම අවුල් කොට රාජ්‍යයේ දූෂිත භාවය උපරිම තත්ත්වයකට වර්ධනය කළේය.
ජනාධිපති කොතරම් බලවත් වුවත් 1978 ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ බහුතරයේ සහාය නැතිව ජනාධිපතිට පැවතීමේ හැකියාව නොතිබුණි. ඒ නිසා පාර්ලිමේන්තුවට සහ එහි මන්ත්‍රීන්ට තිබුණ පිළි ගැනීම අහිමි කිරීම නිසා ඔවුන් අතර අසහනයක් ඇති කිරීමට හේතුවී තිබුණේ නම් එම තත්ත්වය නැති කරනු පිණිස ඔවුන්ට නීතියට පටහැනිව ධනය උපයා ගත හැකි මාර්ග (නාමික වටිනාකමකට රජයේ ඉඩම් ලබා දීම, ආර්ථික වටිනාකමක් ඇති විවිධ බලපත්‍ර ලබාදීම, රජයේ කොන්ත්‍රාත්කරුවන් ලෙස ක්‍රියා කිරීමේ අයිතිය ලබා දීම වැනි) සමග පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමි නැති විවිධ වරදාන (තීරුබදු රහිත වාහන වැනි) ඔවුන් වෙත ලබා දෙන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළේය.
ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයක් ක්‍රියාත්මක වන කවර රටක වුවද මහජන නියෝජිතයන්ට රජය සමග ව්‍යාපාර කිරීමට ඉඩ දෙන්නේ නැත. එම වැරදි සැළකෙන්නේ තනතූරෙන් පහ කොට ප්‍රජා අයිතිය අහිමි කළ යුතු තරමේ බරපතළ වැරදි ලෙසය. ඒ සදහා ශ්‍රී ලංකාවේ තිබුණේ ද ඒ සමාන දැඩි නීතිය. ජනාධිපති ජේ ආර් ජයවර්ධන ඒ සදහා පැවති නීති ඉවත් කළේ නැත. ඒ වෙනුවට ඔහු කළේ එම නීති විරෝධී දේවල් භුක්ති විදීමට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීන් පොළඹවා ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීම වැළකීමය. කලාතුරකින් හෝ ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වූ අවස්ථාවලදී එවැනි අය ආරක්ෂා කරන දැඩි පිළිවෙතක් අනුගමනය කලේය.
1977 ගාලු ආසනයට තේරී පත්වූ ඇල්බට් සිල්වාට භූමිතෙල් බලපත්‍රයක් තිබීම නිසා අධිකරණය ඔහුගේ මන්ත්‍රී ධූරය අහිමි කළේය. ඉන්පසු ජනාධිපති ජේ ආර් ජයවර්ධන කළේ කඹුරුපිටිය ආසනයේ මන්ත්‍රීවරයාට එම අසුනෙන් ඉල්ලා අස්වීමට සලසා ඇල්බට් සිල්වා එම ආසනයට ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් කිරීමය.
ජේ ආර් ජයවර්ධන ජනාධිපතිවරයාගෙන් පසුව බලයට පැමිණි ජනාධිපතිවරුන්ද මන්ත්‍රීවරුන් දූෂිත කොට එමගින් ඔවුන්ගේ අනුග්‍රහය ලබා ගැනීමේ පිළිවෙතට අලුත් අංග එකතු කරමින් එම දුෂීත ක්‍රමය පවත්වා ගෙන ගියේය. චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනියගේ කාලයේදී මන්ත්‍රීවරුන්ට මත්පැන් බලපත්‍ර ලබා දෙන ක්‍රමයක් ඇති කරන ලදී. ඒ අනුව මේ වන විට පාර්ලිමේන්තුවේ තැබෑරුම් තිබෙන මන්ත්‍රීවරුන් පමණක් නොව මත්පැන් කර්මාන්ත ශාලා පවත්වා ගෙන යන මන්ත්‍රීවරු ද සිටිති.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ මුල් කාලයේදී ඔහු තමාට ආධාර කළ පක්ෂ දෙකකට (ජනතා විමුක්ති පෙරමුණට සහ ජාතික හෙළ උරුමය පක්ෂයට) කෘත ගුණ සැලකීම පිණිස විකුණා මුදල් කර ගත හැකි ලෙස ගුවන් විදුලි බල පත්‍ර දෙකක් ලබා දුන්නේය. මන්ත්‍රීවරුන්ට ලබා දෙන ලද බදු රහිත බලපත්‍ර ක්‍රමය පවා නීතියට සේම පිළි ගත් පාරිලිමේන්තු සම්ප්‍රදායන්ට පටහැනි ක්‍රමයක් ලෙස සැලකිය හැකිය.
මෙම දූෂිත ක්‍රමයට පක්ෂ භේදයකින් තොරව සියලු මන්ත්‍රීවරුන් අනුගත වූවා මිස ඊට එරෙහිව ඒ කිසිවෙක් නැගී සිටියේ නැත. පාර්ලිමේන්තු ක්‍රමය වසා ගෙන ඔඩු දුව යමින් තිබුණ මෙම බිහිසුනු පිළිකාව ගැන කතා නායකවරුන් ද දැන සිටියේය. එහෙත් කිසිවෙක් ඒ ගැන සොයා බලා පිළිකාව කපා හරින තැනකට ගියේ නැත.
අධිකරණය විනාශ කෙරුණේ පාර්ලිමේන්තුව විනාශ කෙරුණ අකාරයට තරමක් වෙනස් අකාරයටය. නව ව්‍යවස්ථාවෙන් ජනාධිපති නීතියට ඉහළින් සිටින තැනක තැබීම මගින් අධිකරණයේ තත්ත්වය කපා පහත හෙළනු ලැබීය. අධිකරණ විමර්ශන බලය ද පනත් කෙටුම් පතක් ඉදිරි පත් කිරීමෙන් පසු එම කෙටුම්පත සම්මත කිරීමට පෙර සුළු කාලයක් ඇතුළතදී එම කෙටුම්පත ව්‍යවස්ථාවට අනුකූලද යන්න සොයා බලන පටු රාමුවකට සීමා කළේය.
ඉහළ අධිකරණයට විනිසුරුවරුන් පත් කිරීම ජනාධිපතිගේ සිතැගියාව අනුව කළ හැකි දෙයක් බවට පත් කරන ලදී. ඉහළ අධිකරණයේ ජනාධිපතිවරයා අකමැති විනිසුරුවරුන් හත් දෙනෙකු එම තනතුරුවලින් පහ කරන ලද්දේ නව ව්‍යවස්ථාව යටතේ දිව්රුම් දීමට තිබෙන අයිතිය ඔවුන්ට අහිමි කිරීමෙනි. ඒ නිසා ඇතිවූ පුරප්පාඩු පුරවන ලද්දේද අවිධිමත් හිතුවක්කාරී ආකාරයකටය.
ඒ සියලු අවලස්සන දේවල් සිදු වී තිබියදීත් ජනාධිපතිවරයා අග විනිසුරු ධූරයට පත් කළ ඔහුගේ පුද්ගලික මිත්‍රයා (නෙවිල් සමරකෝන්) එම තනතුරට පත්වූ මොහොතේ සිට සිය මිත්‍ර ජනාධිපති ආරක්ෂා කරනවා වෙනුවට අධිකරණයේ ගෞරවය ආරක්ෂා කරන දැඩි පිළිවෙතක් අනුගමනය කිරීම නිසා තටු කපනු ලැබූ තත්ත්වයකට පත් කර තිබියදීත් අධිකරණය ජනාධිපතිගේ බලවත් විරෝධයට හේතුවූ සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන බලවත් නඩු තීන්දු ගණනාවක් ප්‍රකාශයට පත් කිරීමට සමත් විය.
ඒ මගින් අධිකරණය ජනතාවගේ විශ්වාසයට සහ ගෞරවයට හේතු වන තත්ත්වයක් පවත්වා ගෙන යාමට සමත් විය. අග විනිසුරු නෙවිල් සමරකෝන්ගෙන් පසුවද අධිකරණයේ ඇතිවී තිබුණ එම ඉදිරිගාමි නැඹුරුව ඉදිරියට ගලා යන තත්ත්වයක් ගොඩ නැගී තිබුණි. අධිකරණයේ එම ගමන ආපසු හරවනු ලැබූ පුද්ගලයා වශයෙන් සැලකිය හැක්කේ ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග සිය පළමු ධූර කාලය අවසන් වීමට ආසන්නයේදී පිළි ගත් සියලු ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන්ට පටහැනිව අගවිනිසුරු ධූරයට පත් කළ සරත් සිල්වාය.
ඔහු එම තනතුරට පත් කරන අවස්ථාවේ සිටියේ නීතිපති වශයෙන් සිය බෙල්ල මුළු මනින් හිර කර ගනිමින් සිටි තත්ත්වයකය. නීතිපති වශයෙන් ඔහුට එරෙහිව දූෂණ චෝදනා දෙකක් එල්ල වී තිබුණි. ඒ මහෙස්ත්‍රත් ලෙනින් රත්නායක සහ දිසා විනිසුරු උපාලි අබේරත්න පදනම් කර ගෙනය. එම චෝදනා දෙක ප්‍රසිද්ධ කරළියට ගෙනා ප්‍රධාන පුද්ගලයා වන්නේ මා ය. එම අධම විනිසුරුවරුන් දෙදෙනාට එරෙහිව මා ඉදිරිපත් කළ ප්‍රසිද්ධ චෝදනා අධිකරණ සේවා කොමිෂම විසින් පත් කළ පරීක්ෂණ කමිටු දෙකක් මගින් ඔවුන් දෙදෙනා වරද කරුවන් කිරීමෙන් පසු නීතිපති සරත් සිල්වාට එරෙහිවද දූෂණ චෝදනා මත අප දෙදෙනෙකු විසින් ඉදිරිපත් කරන ලද පැමිණිලි දෙකක් මත ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිට එරෙහිව පරීක්ෂණ දෙකක් ආරම්භ කර තිබුණි.
ජනාධිපතිනිය සරත් සිල්වාව අගවිනිසුරු දූරයට පත් කරන ලද්දේ හිරවී තිබෙන සිය මිතුරාගේ බෙල්ල බේරා ගන්නා අතර ඔහු මගින් තමන්ට කැමති ලෙස අධිකරණය පාලනය කළ හැකි තත්ත්වයක් ලබා ගැනීම සදහාය. ඉන් පසු අගවිනිසුරු ධූරයට පත් සරත් සිල්වා අධිකරණයට කරන ලද විනාශය අති විශාලය. ඔහු අධිකරණයේ ස්වාධීනත්වය ද ගෞරවය ද නැති භංග කිරීමට අවශ්‍ය හැම දෙයක්ම කළේය.
සරත් සිල්වා නොමනා ලෙස අගවිනිසුරු ධූරයට පත් කිරීමේ සංසිද්ධියට එරෙහිව පමණක් නොව ඔහුගේ නොමනා ක්‍රියාකම්වලට එරෙහිවද දේශිය වශයෙන් පමණක් නොව අන්තර් ජාතික වශයෙන්ද බලවත් විරෝධයක් ගොඩ නැගී තිබුණි. එහෙත් ශ්‍රී ලංකාවේ දේශපාලන තලය වසා ගෙන තිබුණ අවස්ථාවාදය විසින් එම පිළිලය ඉවත් කර ගැනීමට තිබුණ හැකියාව රටට අහිමි කළේය. අගවිනිසුරු එම ධූරයෙන් පහ කිරීමට බලයක් තිබූ අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ එම ප්‍රශ්නයට අත නොගසා එම අවස්ථාව මග හැරියේය. ඉන්පසු සිය පක්ෂයට තිබූ බලය දිය වෙමින් තිබෙන අවස්ථාවකදී ප්‍රශ්නයට අත ගසන්නට ගොස් අත පුච්චා ගත්තේය.
රටේ විකල්ප ජන මතය කෙරෙහි බලපෑ ප්‍රධාන පක්ෂ දෙක ලෙස සැළකිය හැකි ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික හෙළ උරුමය පක්ෂයද එම දේශපාලන පක්ෂවල අභිවෘද්ධියට හේතු වන නඩු තීන්දූ ලබා ගැනීම සදහා එම අධම අග විනිසුරුවරයා ආරක්ෂා කරන පිළිවෙතක පිහිටා ක්‍රියා කළේය. ඉන් පසු මහින්ද රාජපක්ෂ පාලන කාලයේදී අග විනිසුරු ශිරානි බණ්ඩාරනායකට එරෙහිව ඉදිරිපත්වූ දෝෂාභියෝගය සහ ඒ ආශ්‍රයෙන් ඇතිවූ ආරවුලේදී අධිකරණයට ඉතිරිවී තිබූ මොනයම් හෝ ශක්තියක් වී නම් එම ශක්තිය ද පොළොවට සමතලා කිරීමක් සිදුවී යැයි කිව හැකිය.
ශ්‍රී ලංකාවේ සමාජ ක්‍රමය, රාජ්‍යය සහ රටේ ආර්ථිකය මේ වන විට තිබෙන්නේ කඩා බිඳ වැටීමකට, අසමත් භාවයකට, බංකොලොත් භාවයකට සේම අරාජකත්වයකට පත්වීමකට ආසන්න තත්ත්වයකය. මෙම අර්බුදයේදී විධායකයේ ප්‍රධානියා සහ රටේ රාජ්‍යය නායකයා වන ජනාධිපතිගේ ක්‍රියකලාපය වගකීමෙන් තොර බව කණගාටුවෙන් වුවද කිව යුතුය.
රට දරුණු ව්‍යසනයකට මුහුණ දී තිබෙන මෙවැනි අවස්ථාවකදී රටේ ආර්ථික පැවත්ම දුර්වල කිරීමට හේතුවන දූෂිත ගනුදෙනුවලට ඉඩ නොතැබීම අත්‍යාවශ්‍ය වුවද සීනි ගනුදෙනුව, චීන පොහොර ගනුදෙනුව, ඉන්දියානු නැනෝ පොහොර ගනුදෙනුව, පුපුරන ගෑස් සිලින්ඩර් වැනි දේවලින් පෙනෙන්නේ රටේ තිබෙන අර්බුදය නොසලකා ගජ මිතුරන්ට මහා පරිමාණයෙන් ගසා කන පිළිවෙතකට ජනාධිපතිවරයා ඉඩ දී තිබෙන බවය.
මෙවැනි අර්බුදයක් තිබෙන අවස්ථාවක වාර්ගික සහ ආගමික අවුල් වර්ධනය කිරීමට හේතු වන දේවල් කිරීමෙන් වැළකී සිටීම අත්‍යාවශ්‍ය වුවත් එක රටක් එක නීතියක් පිළිබද ජනාධිපති කාර්ය සාධක බලකායට සුළු ජාතින්ගේ බලවත් විරෝධයට හේතුවූ හිමිනමක් පත්කිරීමෙන් පෙන්නුම් කර තිබෙන්නේද එම විෂයේදී පවා සාධාරණ ලෙස ක්‍රියා කිරීමට අවශ්‍ය බුද්ධිමය ශික්ෂණයක් ජනාධිපතිවරයාට නැති බවය.
මේ නිසා ශ්‍රී ලංකාව මූහුණ දී තිබෙන මෙම අර්බුදයේදී පොදු එකඟතාවකින් ප්‍රශ්න විසඳා ගැනීමට සුදුසු රාමුවක් ජනාධිපතිගෙන් අපේක්ෂා කළ නොහැකිය. පාර්ලිමේන්තුවේ කටයුතු සිදු වන ආකාරය අනුව එවැනි දෙයක් පාර්ලිමේන්තුවෙන්ද බලාපොරොත්තු විය නොහැකිය. අය වැය ලේඛනයේදී ආණ්ඩුව රට මුහුණ දී තිබෙන අර්බුදය විග්‍රහ කරමින් ඊට විසඳුම් ඉදිරිපත් කිරීමක් කළේ නැත. පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂද මෙම අර්බුදය ජය ගැනීම සඳහා වන ඔවුන්ගේ යෝජනා ඉදිරිපත් කළේ නැත. මෙම අර්බුදයේ දී එම අර්බුදය ජය ගැනීමට අවශ්‍ය ව්‍යවස්ථාමය රාමූවක් සමග සම්පූර්ණ කළ යුතු කොන්දේසි සදහා ජනාධිපතිවරයාට සහ පාර්ලිමේන්තුවට මග පෙන්වීම් ලබා දීමේ වැඩිම හැකියාව තිබෙන්නේ අධිකරණයටය. ඒ සදහා සුදුසු නඩු නිමිත්තක් අවශ්‍යය වනු ඇතත් මෙවැනි අර්බුදයකදී රට සහ ජනතාව ආරක්ෂා කීරීමේ බලය අධිකරණය සතූය. ඒ ගැන අවධානය යොමු කිරීමේ වගකීමක් අධිකරණයට ඇත්තේය. එසේ නොවෙතොත් රටට සහ ජනතාවට පමණක් නොව අධිකරණයටද වෙන්නේ විනාශ මුඛයට යන්නටය.

Lanka Newsweek © 2026